Search This Blog and Other Bolg

Monday, January 25, 2016

එදා 10 පංතියෙදි මට උඹ ගැන ඉස්සෙල්ලාම ආදරයක් ඇති උනාම මට ඒක කියාගන්න විදිහක් තිබ්බෙ නෑ. ඒ කාලෙ මට එච්චර ශක්තියක් තිබ්බෙ නෑ. මම පරක්කු වෙනවත් එක්කම උඹත් එක්ක වෙන එකෙක් හාද උනා. උඹට වෙන කෙනෙක් ඉන්නව කියල දැන දැනත් මම හැමදාම පෙම් කලා. ඉස්කෝලෙ ආවෙ උදෙන්ම ඔයාට දැකගන්න හිතාගෙන. ඒ දැකපු හැම දවසෙම ඔයා කට පුරෝල හිනා උනා. ඒත් ඔයා දන්නෙ නෑ මං ඔයාට ආදරෙයි කියල. මට ඒක කියන්න ඕන කමක් තිබ්බෙත් නෑ. 
ඒත් දවසක් ඔයාගෙ හොඳම යාළුව මගෙන් අැහුව මට තාම කෙල්ලෙක් නැද්ද කියල. පංතියෙ හැමෝටම කෙල්ලො හිටපු හින්ද ලැජ්ජාවට රත්නාවලියෙ කෙල්ලෙක් ඉන්නව කියල කිව්වෙ බොරැවට. ඒත් ආපහු දවසක් ඇයම ඒ ප්‍රශ්නෙම අහපු වෙලේ මම උඹ ගැන කිව්ව. පස්සෙ කොහොම හරි උඹ ඒ ගැන දැනගත්ත. එදායින් පස්සෙ කවදාවත් ඔයා මාත් එක්ක හිනා උනේ නෑ. 
උඹේ පෙම්වතා රස්සාවක් කරනව ඇත්ත. මට සල්ලි නෑ උඹ ඉල්ලන දේවල් අරන් දෙන්න. ඒ කාලෙ මං දුප්පතෙක්. කොහොම හරි ඉස්කෝලෙ අවසන් වෙන දවසත් ආව. එදානම් උඹ මාත් එක්ක හිනා උනා. මට දුවල ඇවිල්ල උඹව බදාගන්න හිතුන. ඒත් එහෙම කරන්න මට අයිතියක් නැති හින්ද නිකන් හිටිය. ඒ වෙනකොට උඹේ පෙම්වතා උඹට ඕන කරන හැම සැපක්ම දීල තිබුනෙ. මට එහෙම දෙන්න බෑ. කොහොම හරි ඉස්කෝලෙ ඉවර උනාට පස්සෙ අවුරැදු තුනකින් උඹව මට පාරෙදි හම්බ උනා.
උඹට දැන් දරැවො දෙන්නෙක් ඉන්නව. ඒ කාලෙ තිබ්බ හැඟේ හැඩෙත් ක්ෂය වෙලා. ඒ කාලෙ වගේ ලස්සන සුදුත් නෑ. මූනෙ කිසිම හිනාවකුත් නෑ. තඩි එළවලු බෑග් එකක් එල්ල ගත්ත දකුණු අතේ නහර පෑදිල ඇදිල හිගිල්ල. වම් අතේ දරැවො දෙන්න එල්ලිලා. බස් එකක් එනකන් ඈත දුර බලාගෙන ඉන්නව. ඈත දුර බලාගෙන ඉන්නකොට තමා මමත් එතනින් උඩට මතු උනේ. උඹට මාව දැක්කාම එකපාරම අඳුරගන්න බැරැව ගියා කියල මම දැනගත්ත.
ඇය බලෙන් මවාගත්ත හිනාවක් එක්ක මට සමච්චලේට හිනා උනා. කින්ඩියට වගේ මගෙන් ඇහුවෙ මොකද තාම රස්තියාදු ගහනවද කියල. ඇය එහෙම අහපු එක සාධාරණයි. මොකද මම ඇඳන් හිටියෙ බාච්චු කලිසමකුයි ලොකු ෂර්ට් එකකුයි. ඇඟේ හැම තැනම පච්ච ගහල ලොකු චේන් එකක් බෙල්ලෙ දාගනෙ. ඇත්තටම ඒක රස්තියාදුකාරකමක්. මට කින්ඩියට කතා කරන ගමන් ඇය කිව්වෙ තමන්ගෙ මහත්තය දැන් ගැරිජ් එකක රස්සාව කරන බවත් දරැ සම්පත් දෙකක් සිටින බවත් තව දරැ සම්පතක් කුස තුල සිටින බවත්. ඇත්තටම ඇය මට එහෙම කිව්වට මටනම් ජීවිකාව සතුටින් ගෙනියන බවක් පෙනුනෙ නෑ. සමහර විට එයා මට එහෙම කිව්වෙ ඒ කාලෙ මාත් එක්ක යාළු උනානම් අද ඊට වඩා දුක් විඳින්න වෙනවනේ කියන හැඟීමෙන් වෙන්න ඕනෙ. කොහොම උනත් ඇය පුන පුනා කිව්වෙ එදා මාත් එක්ක ආවනම් මීට වඩා දුක් විඳින්න වෙන බවක් නම් සහතිකයි. ඒත් මටනම් පෙනුනෙ ඇය අන්ත දුක් විඳින බවයි. ඇගේ බ්ලව්ස් එක දිය වෙලාම ලැම මඩල පේනව. ඩෙනිම් සාය මං හිතන්නෙ අවුරැදු 3ක් විතර පරණයි. 
මමත් මද සිනාවක් පෑවා මිස මොකුත් කතා කරන්න ගියේ නෑ. ඇගේ ජීවන කතාව අසා සිටියා මිස. 
අවසාන වෙලාවෙදි මං ඇහුව එනවද මමත් ඔයාලගෙ ගෙවල් පාරෙන්මයි යන්නෙ ඇරලවන්න පුළුවන් කියල. 
බඩු මල්ලකුයි දරැ දෙන්නයි එක්ක හිරවෙච්ච බස් එකක යනවට වඩා හොඳයි මං එක්ක යනව කියල හිතෙන්න අති. ඒක නිසා ඔළුව දෙපැත්තට වනල කැමැත්ත පල කලා. නගරයේ වාහන නැවතුම්පොල වෙත මා සමග පැමිනි ඇය තරමක් අපහසුතාවයෙන් ඇවිදින නිසා කිලෝ 10ක් විතර බර බෑග් එකත් මම ගෙනාව. ඇවිල්ල ත්‍රීවීල් එකක් ගාව මම නතර උනේ වාහනේ යතුර සාක්කුවෙන් එළියට ගන්න. මම වාහනේ යතුර අරගෙන කාර් එකේ ඩිකිය ඇරල බඩු මල්ල දාල වැඩපිට බැලුවට එයා පේන්න හිටියෙ නෑ. පොඩ්ඩක් හොදිසි කරපුවාම ඇය ඉන්නව ත්‍රීවීල් එකක නැගල. 
+ මොකද මේ ත්‍රී වීල් එකක නැගල
- ඇයි මේක ඔයාගෙ නෙවේද?
+ නෑ ගිහිල්ල අර කාර් එකට නගින්න
ඇය වීලයෙන් ඔලුව පිටතට දමා මගේ කාර් එක දෙස බලා හූල්ලන්නට විය. 
- සොරි හලෝ මම හිතුවෙ ඔයා අඳ පැළඳගෙන ඉන්න විදිහට ත්‍රීවීල් කාරයෙක් වෙන්න ඇති කියල. 
ඒ වචන ටික කියා නිමේශයකින් ඇය හඬන්නට විය. දරැ දෙදෙනාද සිදුවන්නේ කුමක්දැයි වටහාගන්නට නොහැකිව මා දෙස හා අම්මා දෙස බලයි. ඇති වන තුරැ අඬන්නට දීල ඉවර වෙනකන් මං බලාගෙන හිටිය. 
මං ඇහුව ඇයි ඇඬුවෙ කියල. ඇය මට ඇගේ දුක්ගැනවිලි දහස් ගනන් ප්‍රකාශ කලා. ඇත්තටම ඇයට දැන්නම් හිතෙනව එදා මාත් එක්ක යාළු උනානම් ඉවරයි කියල. මමත් ඇගේ දුක් කතාව ඉවර වෙන තුරැ අහගෙන ඉඳල මගෙම කාර් එකෙන් ඇයගෙ ගේ ලඟටම ගිහිල්ල නැවැත්තුව. මගෙ මූණවත් බලන්නෙ නැතුව දරැ දෙන්නත් එක්ක යන්න සැරසෙනකොටම මම පොඩි එකාට කතා කරා. කාර් එකේ තිබ්බ ලොකු චොකලට් දෙකක් පොඩිඑකාට දීල අම්මටත් දීල කන්න කිව්ව. චොකලට් එකක් ජීවිතේට දැකල නෑ වගේ ඒ පොඩි එකා එතනදිම ඒක කඩල කන්න පටන් ගත්ත. ඇය ජීවත් වන පොල් අතු පැල දැකල මගෙත් හදවත පිච්චිල ගියා. මම අැයට අඬගැහුව. කඳුලු බේරෙන ඇස් දෙකෙන් ඇය ඇයි කියල ඇහුව. මම කාර් එකෙන් බැහැල ඇයගෙ ළඟට ගියා. හොඳටම ළඟට ගියා. ඇගේ සුසුම් මගෙ පපුවෙ වදින තරමට ලං උනා. ඇත්තටම ඇය බය වෙලා ඉන්නෙ කියල ඇගේ පපුවෙ සද්දෙන් මට තේරැනා. සාක්කුවට අත දැමූ මම පසුම්බිය රැගෙන එහි තිබූ සියළු මුදල් නෝට්ටු ටික ඇගේ අතේ තබා ඇගේ ඇඟිලිවලින්ම ගුලි කරවා ආපසු හරැනේ නැවත ඇගේ මූණ නොබලන ලෙසයි. කාර් එකේ දොර අරින්නට ප්‍රථම ඇගේ මුහුණ බැලීමට ඕන උනත් අහක බලාගෙනම මා එතැනින් නික්මුනේ ඇසේ කොනක සිරවූ කඳුලක් පිසදමමින්.
______
සුමා 2016-01-23